Friday, December 28, 2012

අයදින්නිය

අයදින්නිය






වැහි බිංදු සිප ගනී වැව් දියඹ හෙමි හෙමින් 
කළුම කළු දියකාවෝ දඟ කරයි වැව තුලින් 
හිරකරන් සිටි නුඹත් ඉඟි කරයි මට හොරෙන් 
මායාව නුඹම බව කෑ ගසයි මම ඉඳින් 

මගේ ලොව පාලුවෙන් මම නැතුව බලන්නිය 
සිනහ පිරි දසුන් මගේ සිත් කොනේ මවන්නිය
ඇගේ නිල් නෙත් යුගල මා නැතුව තැවෙන්නිය 
ලොවක් නැත අකාලික, දෙතොල ඇගේ කියන්නීය  

ගිය නුඹට තුති පුදමි බොහෝමත් සෙනෙහසින් 
මියැදෙන්න සිටිය මම අවදි වුනි වීර්යෙන් 
සැබෑ ලොව කුරිරු බව සිප ගනිමි මම සෙමෙන් 
ඒ ලොවේ සොඳුරු බව සොයන්නෙමි ආදරෙන් 

Tuesday, December 25, 2012

ඇය මං නොවුවත්

ඇය මං නොවුවත් 


මේ දෙනෙත් යට තිබු
සෝ සුසුම් කඳුළු වැල් 

මේ දෙතොල් අග තිබු 
ඔබ දුටුව හසරැල් 
මේ සුසුම් යට තිබු
පුංචි ඒ පැතුමන් 
වියැකිලා දැන් ඇය නිසා ..



දනිමි මං නොඑන බව 
ඔබ නැවත ආදරෙන්  
ඔබේ නව සිහිනයන් 
නැවුම් පැතුමන් 
නැවුම් දිවියේ 
පිපී දිලෙනට 
පෙරට වැඩියෙන් ආදරෙන් 
සුබ පතමි මං 
ඔබේ ඇය 
මං නොවුවත්  ..

Friday, November 16, 2012

කඳුළු බිඳුව නුඹ..

කඳුළු බිඳුව නුඹ..





විටෙක සිනහවෙන්
හද පිරුණු විට වැටෙන ..
විටෙක දුක්බරව 
හද තැවෙන විට වැටෙන ..

තනි රැයේ..තනි මකන..
හැඟුම් මගේ පිට කරන 
උමතුවෙන් පෙම් කරන 
ඔබයි මගේ පිළිසරණ  ..

Thursday, November 1, 2012

"ඔයා දැන් නිදහස්"

"ඔයා දැන් නිදහස්" 



උපන්නට සිටියා 
බිළිඳෙක්
ඇගේ කුස තුල
සතුටු වුවා
ඇයත් ඔහුත්!
සත් මසක් වැදුවා
නූපන් බිළිඳෙක්
වැඩුණු 
කළලයක් ..
ජීවිතය වුවා
ඇයට
වැඩෙන කළලය
ඇගේ ගැබ තුල ..
.
.
.
.
හරස් වුවා
ඇගේ කර්මය
ගෙවන්නට ඉතුරු වූ
.
.
.
.
විසි උනා ඇය
කෙළ පිඬක් වී
ඔහුගෙන් ..
අපහාස වින්දා
ඔහුගෙන්ම ඇය ..
තනිව හැඬුවා
දිවා රෑ ඇය .. 
වැඩෙන කළලය
අබ්බගාත වූ කල්හි!
.
.
.
.
"නැති කරලා දාපන් ඔය කෙහෙල්මල් දරුවාව..නිදහසක් ඕනි මට, විඳවන්න කැමති නෑ ජීවිත කාලයක් මං"
පිට වුණා ඒ වදන් ඔහුගේ මුවින් ..
"නූපන් වුනත් මේ මගේ දරුවා..අපේ දරුවා ..මරා දමන්න බෑ මට! අපි කොහොමහරි හදාගමු.දරුවාව සනීප කරගන්නම් මම "
ඇය පිළිවදන් දුන්නා ..
.
.
.
ගබ්සාවක්
කල නොහැකියි ඇයට 
නමුදු ,
ඔහු
ගබ්සා කර හමාරයි
ජීවිත දෙකක් ..
අතැර දැමුවා 
ජීවිත දෙකක් ..
ඔහු
අසුරු සැනකින්!
.
.
.
තනි වුණා 
ඇය ..
දරාගත නොහැකි තැන 
අතට ගත වස
ඇතුළු වුවා
ඇය තුලට ..
නැති වුණා
ගැහෙන හදවත් දෙකක් !!
.
.
.
.
.
නූපන් බිළිඳෙක්
නූපන් මවක්
.
.
.
.
"ඔයා දැන් නිදහස්" 
ඇය ලියා තිබුණා ...

Tuesday, October 30, 2012

මතක


මතක 




කහ පාට මල් ගහේ 
තවම මල් පිපෙනවා ..
අපි හිටපු බංකුවේ
තවම ඉඩ තියෙනවා ..
අපි ගියපු අඩි පාරේ 
තවත් අය යන එනවා ..
මගේ හිතත් ආදරෙන් 
තවම කල් ගෙවනවා ..

Sunday, October 21, 2012

ලියන්නද අකල් මරණය ?

ලියන්නද අකල් මරණය...



මගේ සිත තුල
සදා රැඳෙනා 
පණ අදින
ගීය වුණි
ඔබේ ඒ ප්‍රේමය.. 
ශිලාවෙන් තැනුණු 
නිහඬ සැමරුම 
නුඹම විය 
අවසානයක් ලියා ගත නොහී වූ 
මගේ අවසන් 
ගීයේ..
ඉඳින් මං
ලියන්නද  
අකල් මරණය 
තුරුළු කරගත් ප්‍රේමයට 
නුඹ එදා 
හුස්ම දුන් ....

Monday, October 15, 2012

සොයුර පතන්නෙමු ඔබට නිවන් සුව!


සොයුර පතන්නෙමු ඔබට නිවන් සුව!


අලුත් මල්ලිගේ බ්ලොග්
 එක දැකලයි මේ දේ මට ලියන්න හිතුනේ. මුලින්ම කියන්න ඕනි මමත් ගොඩාක් කාලෙක ඉදල බ්ලොග් කියෙව්වට, ලියන්න පටන් ගත්තේ මේ ළඟදී.ඒ නිසා මේ බ්ලොග් අවකාශයෙන් සදහටම සමුගත් පුබුදු සොයුරා ගැන මම දැනගෙන හිටියේ නෑ මේ වෙනකම්.නමුත් මගේ හිතවත් යෙහෙළියකගේ මාර්ගයෙන් මම පුබුදු සොයුරාගේ අකල් වියෝව ගැන දැනගත්තා. ඒ වෙනුවෙන් කවියක් ලියන්න මට බාර උන නිසයි මේ ගැන මම දැනගත්තේ.පුබුදු සොයුරා ගැන නොදැන සිටි කෙනෙක් උනත් මමත් ගොඩක් කම්පා උනා. ඒ වෙනුවෙන් මම පුබුදු සොයුරාගේ ආයතනයේ සිටි මගේ යෙහෙළියට ලියා  දුන් කවියයි මේ ! 
සොයුර පතන්නෙමු ඔබට නිවන් සුව!

ජීවිතය අනියතයි,
මරණය නියතයි..
අසා තිබුනා බොහෝ කල් සිට 
පසක් වූවා ඔබෙන් ඒ බව..
විඳින්නට ජීවිතය 
සිටියේ ඔබ එළිපත්තේ ..
එයට සතුටින් පය තැබුවත් ..
විසුනු කෙරුවා රුදුරු දෛවය..
මෙපමණයි ආයුෂ 
මිතුර ඔබ ගෙන ආවේ ..

යන්න කාලය ඇවිත්
ඔබ ගියේ නොසිතු ලෙස..
රැදෙයි ඔබේ මතකයන්
ශිලා පිළිරුවක් ලෙස ..
සමුඅරන් ගිය ඔබට
පතන්නෙමු නිවන් සුව!

ඔබ

ඔබ 


පිනි බිඳක් වුණි මෙමට 
උදෑසන දිස්නෙ දුන් ..
මහ සයුර වුණි මෙමට 
වෙරළ තෙර හැපී යන ..
පොද වැස්ස වුණි මෙමට 
සීතලෙන් ගුලි ගැහුණ..
වළාවන් වුණි මෙමට 
හිරු රැසින් රැක ගැනුණ..
කවදාද වෙන්නේ නුඹ 
දේදුන්න....
පොද වැටුණ අහස මත ?

Friday, October 12, 2012

තාම ඇයි වාඩි වී...

තාම ඇයි වාඩි වී...






ඇයි අම්මේ වාඩි වී 

වැල් බෝධී බැම්ම උඩ ?

බිසෝ සැප ලැබෙන්නලු 
හොඳ දරුවෝ ලැබෙන්නලු 
කියයි ඔබ හදවතින් 
දුන්න ඒ බත් පතට ..

හාස්කම් තියෙනවා 
සිතු පැතුම් ඉටු වෙනවා 
යහපතක් ඉටු වෙනවා 
මේ උතුම් පින් බිමේ ..

තාම ඇයි වාඩි වී 

වැල් බෝධී බැම්ම උඩ..?

සමුගැන්ම !


සමුගැන්ම !




ඉරඑළිය දිස්වුණා
අලුත් දවසක් උදා වූවා..
නොඑන ඔබ ආවා
පුරුදු ලෙසටම හමුවුනා..

දැනන් උන්නා අපි අපිම 
ඒ අපේ අවසාන හමුව බව.. 
ආදරේ කළා අපි අපිට 
සැබෑ පෙම්වතුන් ලෙස ..

හැඩුම් ආවා මෙමට 
හිතේ දුක පිටවෙමින් ..
පුරුදු සෙනෙහෙන්ම ඔබ
අසා සිටියා දුක මගේ..

වෙන්ව යමු දුක දරන්
එක්ව ඉන්නට බැරි දිනේ.. 
ඔබ කියයි..මා හඬයි
අපි අපෙන් වෙන්ව යයි..

Tuesday, October 9, 2012

නුවරට වහිනකොට ලස්සනයි!

නුවරට වහිනකොට ලස්සනයි!


මහපොළොව වේලිලා ගිහින් දවස් ගානක් ගත උනාට පස්සේ වැටෙන වැස්සේ අමුතු ලස්සනක් නැවුම් බවක් තියෙනවා..පොළොව යට ඉතුරු වෙලා තිබුන තණකොළ ගහක මුලකට අයෙත් පණ දෙන්න පුළුවන් වහින වැස්සකටම තමයි.
අලුත් වැස්සක් වහිනකොට හිත යට ගුලි වෙලා තිබුණ මතකයකටත් පණ දෙන්න පුළුවන්.




ඔයා ඒ ආදරේ අරගෙන 
මම ගාවට එයි කියලා 
බලාගෙන හිටියා
මහවැලි ගඟට උඩින් තිබුණ
පාලම උඩට වෙලා.. 
ලොකු හුළඟකුත් එක්ක 
පොද වැස්සක් වැටුනා.. 
ඔයා නපුරු වෙන තරමටම 
ඒ වැස්ස වැඩි උනා ..
කුඩේ අටවගන්න 
තෙමෙන හිසට උඩින් 
අමතකත් උනා මට..
ඔයාට මතකද?
වැස්ස වැටෙනකොට 
මහවැලිය ලස්සනයි..
ඒ ලස්සනට ජීවයක් දෙන්න 
අන්තිමට ඔයා ආවා.. 
වැස්සට තෙමුණු මාව 
තුරුල් කරගත්තා ආදරෙන්...
වැස්සත් ඉවර උනා 
අපි පාලමෙන් එනකොට..
සිහිල් හුළඟක් ඇවිත් 
එකතු කරා අපිව ආදරෙන් ..
ඒකයි නුවරට වහිනකොට 
ලස්සනයි කියන්නේ 
මං !

(සත්‍ය සිදුවීමක් නොවේ..නම් ගම් මනංකල්පිතයි)

Monday, October 8, 2012

යලිත් ඒ නම්...

යලිත් ඒ නම්...




කඳුළු වැටුනා ඔබේ නාමෙන් 
ඉවත බැලුවා නොදුටුවා සේ
එදා දුන් ඒ සිනා මල් පොඩි 
මැකී යයිදෝ වැටුණු කඳුලින්

නොදැක ඔබ මුව, නොඅසා කිසිත්
ගෙවී ගිය දින දිගුයි තාමත්
ඉල්ලුවේ එක සිහිනයි මං
නොදුන්නෙත් ඒ සිහිනයි ඔබ

කඳුල බරවී වැටෙන්නේ
දිවිය ඔබ ළඟ පිදු නියාවෙනි
සිහිනයේ මම රැඳී ඉන්නම්
යලිත් ඒ නම් එදා වාගේ