Wednesday, January 23, 2013

දේදුන්නට පාට ගාලා දෙනවද .. ?


දේදුන්නට පාට ගාලා දෙනවද .. ?




මං ළඟ තියෙනවා ඒ පාට කූරු 
අර හන්තාන පේන 
සෙනට් එකට වෙලා 
අපි ඒ ලස්සන චිත්‍රෙට   
පාට ගාමු ..
මල් ටික වැස්සට 
අහුවෙලා 
බිම වැටෙන්න කලින්
මං හිතුවා
ඔයා එයි කියලා ...
දැන් කවද්ද එන්නේ ඔයා ...?
මල් වැටෙන්න පටන් අරන් ..
වැටිලා ඉවර වෙයි 
හෙට අනිද්දට ..
.
.
.
.


.
.
.
.
ඒක නෙවෙයි ..
කවුද දැක්කලු ඔයාව ,
අලුත් පාට කූරු අරන් 
අලුත් චිත්‍රයක් අඳිනවා..
දුවගෙන එන්නද මං 
වෙන මුකුත් එපා ..
හන්තානට උඩින් ඇඳපු 
දේදුන්නට 
පාට ගාලා දෙනවද .. ?

Saturday, January 19, 2013

ජීවිතේ ගැන පුංචි සටහනක්...

ජීවිතය ගැන පුංචි සටහනක්...



ජීවිතේ කියන්නේ අපිට  හැමදාම අපි කැමතිම දේ ලැබෙන තැනක් නෙවෙයි.දෛවය අපේ ජීවිත පාලනය කරන්න හදන වෙලාවල් බොහොමයි.මේ දේවල් අතරේ හැම කෙනාම වෙනුවෙන් ලියවුනු, ජීවිතේ හැම පරිච්ජේදයක්ම ඇතුලත් වුනු ලස්සන කතාවක් තියෙනවා කියලා මං හිතනවා. ඒ කතාවට අපි අලුත් පරිච්ජේද එකතු කරන්න කැමතියි වගේම , අකමැති කොටස් ඉරලා විසි කරන්නත් කැමතියි. අපි මේ මොනවා කරන්න හැදුවත් අන්තිමට කතාව ඉවර වෙන්නේ අපිට ඕනි විදිහට නෙවෙයි. කතාව ලියවුනු විදිහටයි. ඒ නිසයි ඉරණම අපිත් එක්ක සෙල්ලම් කරනවා කියලා කියන්නේ.


අපේ හිතත් පුදුමාකාරයි. අවසර නැතුව හැම තැනම දුවනවා. සමහර වෙලාවට හිතට මහා ලොකු හිස් බවක් දැනෙනවා. ඒ හිස් බවත් එක්ක මුළු ගතම හිරිවට්ටගෙන දැනෙන තනිකම හරිම නපුරුයි.

"කවුරුත් නෑ මම කියන දේ අහගෙන ඉන්න"
"මේ ඇස් වල කඳුළු බෙදාගන්න මට කවුරුත් නෑ " 
මේ විදිහට මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහල කියන්න ඕනි උනත් හිත ඇතුලේ තද කරගෙන ඉන්න වෙලාවල් තියෙනවා අපි හැමෝගෙම ජීවිතවල. අන්තිමට කරගන්නම දෙයක් නැති උනාම අපි ආදරේ කරපු දේවල් අපි නැතිකරගත්ත විදිහ ගැන හිත හිතා අඬනවා. එක්කෝ හේතුවක් නැතුවම අපේ ජීවිත වලින් ඈත් උන දේවල් වලට වෛර කරන්න පුරුදු වෙනවා. අපි ඒ හැමදේම අපේ හදවතින්ම අපට ලං කරගෙන හිටපු නිසයි අපට අතහරින්න අමාරු. හිත පාරගෙන යන විදිහට දුකක් දැනෙන්නේ ඒ නිසයි.

මේ ලෝකේ ජීවත් වෙන හැමෝම හොයන්නේ ආදරය, රැකවරණය. බොහෝ දෙනා හොයන්නේ තමන්ට ආදරේ කරන්න සුදුසුම කෙනා (perfect one). ඊට පස්සේ හිතන්නේ මුළු ජීවිත කාලෙම එයත් එක්ක ජීවත් වෙන එක ගැන. ඒ පුද්ගලයව මුණගැහෙන්න පුළුවන්, ඒත්  ඒකට වාසනාවත් තියෙන්න ඕනි. ඒත් එහෙම මුණගැහුනේ නැතිනම් ........  
හොඳයි, අපිට ඒ  කෙනාව මුණගැහුණා කියමුකෝ. ඒත් අපිට ඕනි උන විදිහට, අපි කැමති විදිහට එයා අපිත් එක්ක හැමදාම ඉඳීවිද ??
සමහරවිට අපිට සුදුසුම කෙනා  හමුවෙන්න පුළුවන්. නමුත් ඒ අපි සූදානම් වෙලාව නොවෙන්නත් ඉඩ තියෙනවා.
ලස්සන චිත්‍රයක් හිතෙන් මවාගෙන පාට ගාන්න අපි හැමෝටම ලේසියි.එත් සමහර චිත්‍ර තියෙනවා සැබෑ ලෝකේදී පාට ගාන්න අමාරු වෙන. එක්කෝ පාට එකතු කරන්න අපිට පින්සලයක් නැති වෙන වෙලාවක් වෙන්නත් පුළුවන්. 


දෙන්නෙක් හමුවෙන්නේ එකට ඉන්න නෙවෙයි නම් ඇයි ඒ අයවම එකට මුණ ගැහෙන්නේ ?
ඇයි ඒ අය අතරම බැඳීම් ඇති වෙන්නේ ?
මේ වෙලාවට තමයි හැමෝම කියන්නේ දෛවය මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවා කියල. කෙනෙක් තමන්ට ආදරෙයි කියලා දැන දැනත්, තමනුත් එයාට ආදරේ කලත් ඒ දෙන්නට එකතු වෙන්න බැරි හේතුවක් තියෙනකොට ඒක දරාගන්න අමාරුයි. මවාගෙන හිටපු හීන ලෝක කඩාගෙන වැටෙන්නේ එතකොටයි. දෛවය දෙන්නෙක්ට ආදරේ කරන්න පාර පෙන්නුවට ඒ පාරේ ඇවිදගෙන යන්නත් කලින්ම, හොයල දෙන්නේ ඒ පාරේ ඇවිදන් යන්න එපා කියන හේතුයි. එතකොට අපි අපිටම කියගන්නවා  "මේ නොලැබුන දේට වඩා මට මේ ලෝකේ තව හොඳ දෙයක් ලැබෙන්න තියෙනවා, ඒ නිසයි මෙහෙම වෙන්නේ"  කියල. ඒත් ඒ කිසි දෙයක් ගැන නොහිතා, ලස්සනට ඒ බාධකත් එක්ක ගලාගෙන යන ජීවිතත් ඕනි තරම් තියෙනවා.


මම නම් කියන්නේ තමන්ගේ හීන හොයාගෙන යන්න. ඒ එක හීනයක් හරි සැබෑ උන දවසට දැනෙන සතුට කියාගන්න බැරි තරම් වෙයි. ඒත් හීන හැබෑ කරගන්න බැරි උන දවසට ඒ වෙනුවෙන් උත්සහා කළා කියල සතුටු වෙන්න. ඒ නැවතුන හීනෙන් අලුත් හීනයක් පටන් ගන්න. අලුත් බලාපොරොත්තුවක් තියාගන්න. ඒ දේ සැබෑ කරගන්න ආයෙත් උත්සාහ කරන්න. නමුත් කවදාවත් තමන්ගේ හැම සතුටම හීන වලට බාරදෙන්න එපා. මුලින්ම තමන් ළඟ තියෙන දේවල් වලින් සතුට කියන දේ ජීවිතේට එකතු කරගන්න පටන් ගන්න. එතකොට අපි දන්නෙම නැතුව අපි හොයපු හීන හැබෑ වෙයි.

තමන්ගේ වටිනාකම අඳුරගන්න. ඒ වටිනාකම ගැන හොඳින් දන්න අයත් එක්ක වැඩිපුර කාලය ගෙවන්න. එතකොට තේරේවි සතුටින් ඉන්න අපි කැමති හැමෝම අපි ළඟ ඉන්න ඕනි නැති බව. තමන්ව සැබෑවටම අගය කරන, අපිට නිවැරදි පාර පෙන්නන ටික දෙනෙක් උනත් අපිට සතුටින් ඉන්න හොඳටම ප්‍රමාණවත් බව. මේ  හැමදේම නැති උනත් තමන්ට තමන් ඉන්නවා. අපේ හිත පිරිසිදුයි නම් අපිට අපි ගැනම හිතලා සතුටු වෙන්න පුළුවන්.. 



ප. ලි : 
මගේ ලඟින්ම ඉන්න හොඳම යෙහෙළියක් තමයි මේ ලිපිය මට කඩ්ඩෙන් ලියලා එව්වේ..එයාගේ ජීවිතේ එයා ලබපු අත්දැකීම් නිසා මේ දේ එයාට ලියන්න හිතෙන්න ඇති. මම මේ කරපු පරිවර්තනයෙන් එයාට කියන්න ඕනි උන දේ ලියවුනා කියල මං හිතනවා  :) 


Thursday, January 3, 2013

මැයි මල් වලට ආස නැද්ද ඔයා ?

මැයි මල් වලට ආස නැද්ද ඔයා ?


                                


ආසයිද ඔයා රොබරෝසියා මල් වලට ?
ඔව් ගොඩාක් .. කියන්න බැරි තරම් ආසයි 
හේතුව 
දන්නේ නෑ 
ඇත්තටම 
ඔව් ඇත්තමයි 
හ්ම්ම් 
හරියට මම ඔයාට මෙච්චර ආදරේ ඇයි කියලා මමවත් දන්නේ නෑ වගේ  
ඒ උනාට රොබරෝසියා මල් ඉක්මනට තැලිලා පරවෙලා යනවා, 
අපේ ආදරේ ඒ මල් වලට සමාන කරන්න එපා  
එතකොට මැයි මල් වලට ආස නැද්ද ඔයා ?
ආසයි 
මමත්.. 
හේතුව ?
අපේ ආදරේ මැයි මල් වගේ  
ඇයි ?

                                   

මැයි මල් වල රොබරෝසියා වලට වඩා ලොකු ජීවයක් තියෙනවා ..
ලඟට වගේම දුරටත් ලස්සනයි 
ඉක්මනට  තැලිලා යන්නෙත් නැහැ   
ලොකු වැස්සක් ආවත් මල් ටික ඔක්කොම හැලෙන්නෙත් නැහැ 
ගහේ තිබුන ඔක්කොම කොළ ටික බිමට හලලා මල් විතරක් පිපෙන්නත් නැහැ  
පෙති වල පාට ගොඩක් තියෙනවා 
ලස්සනයි වගේම ගොඩක් ශක්තිමත්  
අපේ ආදරෙත් ඒ වගේ ...